ඉදිරියට අඩියක්
දුම්රියපොලේ රැකියාවේ දෙවෙනි සතියත් ඉවරයි! ආයෙත් පඩි හම්බවෙලා. ගිය සිකුරාදා මම මෙතන වැඩකරන ඩේවිඩ් එක්ක බීර දෙකක් බිව්වා. අද මිනිහා වැඩට ආවෙ නෑ. තනියම පබ් යන්න මට හිත දුන්නෙ නෑ. නමුත් පබ් එක කිට්ටු ඉන්දියානු ආපනශාලවක් දැකලා මට තෝසේ කන්න ආසාවක් ඇතිවුනා.
ලංකාවේදී මම තෝසේ වලට ‘ඇබ්බැහි වෙලා’ හිටියේ; විශේෂයෙන්ම ශිෂ්ය කාලේ. ඒ තෝසේ වල රස වගේම මිල අඩු කමත් නිසා. මම අන්තිම තෝසේ කෑවේ අවුරුදු හතරකට ඉස්සර. අපෙ විශ්වවිද්යාලය කිට්ටුව තෝසේ කඩ නැ. ඒවා තිබුනානම් මේ තරම් කල් තෝසේ අහේනිය පැවතෙන්නෙ නෑ!
සමහරවිට නීලත් ආසා ඇති තෝසේ කන්න. දෙන්නෙකුට ඇතිවෙන්න තෝසේ ගත්ත මම නීලට වයින් බෝතලේකුත් ගත්තා. මට ෆ්ලැට් එක සොයා දීමත්, කීප වරක් රෑ කෑම සැපයීමත්, අපේ ‘ලංකා කවයේ’ ලිය කියවිලි වැඩ භාර ගැනීමටත් ස්තුති කිරීමට මේක හොඳ අවස්ථාවක් කියලා මට හිතුනා.
කෙලින්ම ෆ්ලැට් එකට නොයා මම නීලට ආරාධනා කරන අදහසින් එයාගෙ දොරට තට්ටු කරා.
“යාළුවත් එක්ක පබ් ගියෙ නැද්ද, සිකුරාදත් වෙලා?”
“ඩේවිඩ් ආවෙ නෑ අද. ඊටත් වැඩිය මම හිතුවේ අද නීලට ඩිනර් වලට ඉන්වයිට් කරන්න… තෝසේ”
“ශඃ! පඩි ගත්තහම සැණකෙළි!”
“මට තෝසේ හදන්න බෑ - මෙ මල්ලේ තියෙන්නේ කඩෙන් ගත්ත තෝසෙයි, තොවෙල් සම්බලෙයි. මම හිතුවේ පරිප්පු ටිකක් උයන්න - ඒ ඇතිද?”
“අපෝ ඇති… ඕන නම් මං ලඟ තියෙන අල කරිය ගේන්න පුළුවන්!”
“නියමයි! හතට විතර?”
“රයිට්… මම අපෙ ‘සරණාගත’ ලයිස්තුවත් ගේන්නම්…”
ගිය සති අන්තයේ අඩිලේඩ් නගරේ ඉන්න තිලකා පීරිස්ට කතා කළා වගේ මේ සති අන්තයේ තව කීප දෙනෙකුට කතා කරන්නයි අපේ අදහස. නීලා තමා ඒ තොරතුරු ගොනුකරන්නේ. ලියවිලි ආරක්ෂාව මට පුරුදු වැඩක් නෙවෙයි.
නීලා එනකොට මම මගේ ඉවුම් පිහුම් ඉවර කරලා නාලත් ඉවරයි. නීලා ආවේ දීසියක දාපු අල කරියකුත් සටහන් පොතකුත් අරගෙන. එයාට වයින් වීදුරුවකුයි මට බීර වීදුරුවකුයි වක්කරලා මම අල දීසිය රත් කරන්න පටන්ගත්තා.
“ලලිත් මේ සටහන් පොත බලනවද, මම කරිය රත් කරනකම්? එතකොට කන ගමන් පුළුවන් අපෙ අනික් සරණාගතයෝ ගැන කතා කරගන්න”
මම බීර වීදුරුවත් සටහන් පොතයි අරගෙන බැල්කනියට ගියා. මගෙ බැල්කනියට වෙස්ට් එන්ඩ් උප නගරයේ ලයිට් හොඳට පෙනෙනවා. අඳුරු පසුබිමේ ඈත ගෙවල් සහ වාහන වල එළි පෙනුනේ කලාමැදිරි වගේ. මට ගම මතක්වුනා.
සරණාගතයන්ගේ නම් ගම් උඩින් පල්ලෙනුයි, නීලගෙ සටහන් හොඳිනුත් කියවලා බැලුවා. එතන තව ලාංකිකයෝ පස් දෙනෙකුගෙ නම් තිබුනා. ඇඩිලේඩ් වල තිලකා පීරිස් සමග අපි දැනටම කතා කරලා තියෙනවා. සිඩ්නි වල සුරාජ් මෙන්ඩිස් ගැන අපි දෙන්නා කතා වෙලා තිබුනා. නමුත් අනික් තුන්දෙනා මට අළුත්: රවී ආනන්දප්පා - මෙල්බන්; අනුලා බෝගොඩ - සිඩ්නි; ආයෙ චාමර පඟරගම්මන - පර්ත්. අපි දෙන්නත් එක්ක හතයි… මුළු ඔස්ට්රේලියාවෙම අපිට සොයාගන්න පුළුවන් වුනේ තව ලාංකිකයෝ පස් දෙනයි!
නීලා වයින් වීදුරුවත් අරගෙන විත් බැල්කනියේ අනික් පුටුවේ වාඩිවුනා.
“මොකද හිතන්නේ අපෙ ලාංකිකයෝ කාන්ඩේ ගැන?”
“… මට විශ්වාස කරන්න බෑ මේරටේ ලාංකිකයෝ ඉතුරුවෙලා ඉන්නේ හත් දෙනයි කියලා… ඔයාගෙ මොලේ නිසා මේ කීප දෙනා සොයාගත්තේ, යුනිවසිටි වලින්. ඒ මෙහෙ ඉන්න… හිටපු… ලංකාවේ අයගෙන් පොඩී කොටසක් වෙන්න ඕන”
“ඒක මම පිළිගන්නවා… ලලිත් කියන්නේ ඒ දැන්වීම පත්තරේටයි ටීවී එකටයි දෙන්න කියලද?”
මට හිනා ගියා.
“මම කෝටිපතියෙක් වුන දවසක එහෙම කරමු… දැනට ඊට වැඩිය ලාබ ක්රමයක් ගැන මම හිතන්නේ”
“ඒ ක්රමය මොකද්ද?”
“… අ… ඒක සෑහෙන්න බොන්න ඕන ප්රශ්නයක්!”
මම අපි දෙන්නගෙම වීදුරු පිරෙව්වා.
…………………………………
මල්ලී සිකුරාදා හවස්වෙලා බස් එකේ ගෙදර ආවා. ගිය ඉරිදා කටුබැද්දේ ගිහින් අයෙ සිකුරාදා ගෙදර ආවේ මමත් ඉන්න නිසා වෙන්න ඇති. නංගී දුන්න තේ එක බීපු වහාම මල්ලී මට ඇලේ නාන්න යන්න කතාකළේ ගමනේ දහඩිය සොදා දමන අදහසින්.
“ටිකක් මහන්සි ඇරලා හිටියොත් නරකද ඔළුව පීල්ලට අල්ලන්ට ඉස්සර?”
හෙදියක් වුනත් අම්මා පරණ කතා අමතක කරලා නෑ.
“කරුවල වැටෙන්ට ඉස්සර දාඩිය සෝදගත්තොත් හොඳයි අම්මා”
මෙහෙම කියලා මල්ලී මා පස්සේ කාමරේට ආවා.
“හැබෑට නානකොට බොන්න මොනවත් තිබුනනම් නියමයි නේද?”
මම කාමරෙන් තුවා, නාන ඇඳුම් එහෙම බාල්දියට දාන ගමන් මල්ලිට මෙහෙම කිව්වේ. මල්ලී හිනාවුනා.
“අර ගෙනා විස්කි බෝතලයක් බාල්දියේ යටට දාගත්තනම් ඉවරයි වැඩේ. මං කුස්සියෙන් වීදුරුවක් සාක්කුවේ දාගන්නම්”
අපි බොහොම පරෙස්සමෙනුයි ඇල පැත්තට ගියේ. අම්මටවත් ගමේ කිසි කෙනෙකුටවත් බාල්දියේ මත්පැන් ගෙනයන බව නොපෙන්වනවා වගේම බාල්දිය වැටිලා බෝතලේ බිඳ නොගැනීමත් අපිට වැදගත්. අපේ වාසනාවට අපෙ පිහිල්ල ලඟවත් අතර මගදීවත් අපිට කිසි කෙනෙක් හම්බවුනේ නෑ.
මත්පැන් පානයේ ආදිනව මට අමුතුවෙන් විස්තර කරලා දෙන්න ඕන නෑ. බීලා වැටිලා ඉන්න අය මම දැකලා තියෙනවා. මම දන්නවා බීමෙන් පවුල් කඩාකප්පල් කරගත් අය. නමුත් මම මත්පැන් දැක්කේ නෑදෑ මිතුරු ආශ්රයට රුකුලක් හැටියටයි. ප්රමාණයට වැඩිය බොන අයත් සමග නොබීමට මම තීරණය කරගෙන තිබුනේ බොහෝම කාලෙකට ඉස්සර ඉඳන්.
තමාගෙ කිට්ටුවන්තයෙක් දෙන්නෙක් එක්ක මත්පැන් ස්වල්පයක් තොලගෑමේ අමුතු රසයක් තියෙනවා; ව්ශේෂයෙන්ම ඒක සිද්ධවෙන්නේ ‘හොරෙන්’ නම්. මේසයක් වටේ වාඩි වෙලා සියල්ලන්ටම පොදු මාතෘකා සාකච්චා කරමින් බීමට වඩා ‘හොරෙන්’ බීමේ අගයක් මට දැනෙනවා. බොහෝවිට එකම වීදුරුවකින්, අනුපිළිවෙලට අරක්කු වැනි බීමක් (ඇලෙන් ගත් වතුරත් සමග හෝ ‘අමුවෙන්’) බොන්නේ වෙරි වෙන අදහසින් නොවෙයි. මෙවැනි අවශ්ථාවලදී මතට වඩා සහෝදරත්වයයි වැදගත් වෙන්නේ.
“ඉතින් චුට්ටී මොකද කරන්න අදහස විභාග ඉවර කරලා?”
“තවම හරියටම කියන්ට බෑ… සමහරු කියනවා මිඩ්ල් ඊස්ට් වල රස්සාවක් ගත්තොත් අවුරුදු දෙක තුනකින් හොඳ ගානක් හොයාගන්ට පුළුවන් කියලා… එහෙම වැඩක් සෙට්වුනොත් බාරගන්ට කියලා හිතාගෙන ඉන්නේ”
“ඒ ගැන හොයල බලලා තියෙනවද?”
“නෑ… හැබැයි මාත් එක්ක වැඩ කරන පොරක් යනවා ජනවාරිවල… මිනිහගෙ මොරටුවේ රස්සාව මට හම්බවෙයි. ඒක ලොක්කා මට නොකියා කියලා තියෙන්නේ. හැබැයි විබහගෙත් පාස්වෙලා, අවුරුද්දක එක්ස්පීරියන්සුත් එක්ක…”
මම වීදුරුව ඉස්සුවා.
“ජයවේවා! මට ඇති බිව්වා… හොඳ වෙලාවට ටෝච් එක ගෙනාවේ”
“මටත් ඇති. සස් ගාලා නාගෙන යං… අම්මා බලාගෙන ඇති… අයියා මේ බෝතලේ මට දෙනවද කොළඹ ගෙනියන්ට?”
“මේකයි අනික් කඩපු නැති එකයි අරගෙන ගියාට කමක් නෑ… මට ගල් අරක්කු හොඳයි!”
………………………..
සුරාජ් මෙන්ඩිස් එක්ක සාකච්ඡාව තිලකා පීරිස් එක්ක කළ සාකච්ඡාවට වඩා සම්පූර්ණෙන් වෙනස්. අපි තිලකට උදව් කරන්න උත්සාහ කළා වගේ සුරාජ් අපේ සැපදුක් ගැනයි සැලකිල්ලක් පෙන්වුයේ.
සිංහලෙන් වැඩිය කතා නොකළ සුරාජ් අපට වඩා තව අතකින් වෙනස්වුනා. සුරාජ්ට ලංකාව ඇතත් නැතත් වෙනසක් නෑ වගේ.
“මිස්ට මෙන්ඩිස්ට ලංකාවේ තව නෑදෑයෝ ඉන්නවද? … අ… හිටියද?”
“සුරාජ් ප්ලීස්! මම මෙහෙ ආවේ පනස් හයේ … ආපු දවස්වල ෆැක්ටරියක වැඩ කළා, අත්වැඩ කාරයෙක් හැටියට. ඒ එන්ජිනියරිං රස්සාවක් සොයාගන්න බලාපොරොත්තුවෙන්. අවුරුද්දකට විතර පස්සේ ඒ ෆැක්ටරියෙම ඇසිස්ටන්ට් එන්ජිනියර් වෙලා තවත් අවුරුද්දකින් බලාපොරොත්තු රස්සාව ලැබුනා, ඒ පනස්අටේ. එතකොට මට 35යි. තවම බැඳලත් නෑ. ඊට පස්සේ මම කොම්පැනිය මාරු කරා… එතකොට තව ගොඩක් දේ වෙනස්වුනා”
පොඩි නිහඬ කාලයක්.
“මගෙ නම මෙන්ඩිස්. අළුත් රස්සාව පටන්ගත්ත දවසේ මගෙ ලොක්කා ඇහුවා මෙන්ඩිස් කොහෙන් ආපු නමක්ද කියලා. මම කිව්වා ඒක පෘතුගීසි ‘මෙන්ඩෙස්’ නමෙන් ආපු එකක් කියල. මිනිහා හිතුවා මම පෘතුගීසි කියලා! …මට හිනහ… හොඳ වෙලාවට ඇත්ත පෘතුගීසි කාරයෝ එහෙ හිටියෙ නෑ. එදා ඉඳන් මම පෘතුගීසි! ලංකාවේ කිට්ටු නෑදෑයෝවත් දේපල එහෙමවත් නැති මට කොහෙන් ආවා කිව්වත් එකයි. අනික ඒ දවස්වල ආසියවේ මිනිස්සු ගැන මෙහෙ ලොකු අවිශ්වාසයක් තිබුනා… මම පෘතුගීසි හැටියට ඉන්නේ එදා ඉඳන්… මම පෘතුගාලය ගැන ටිකක් ඉගෙනත් ගත්තත් එක්ක!”
“ඉතින් කාටවත් කිව්වෙ නැද්ද?”
“නෑ… මගෙ වයිෆ් වත් දන්නෙ නෑ!”
මට නොතේරුන යමක් ඒ වෙලාවේ තේරුනා.
“ඒකයි සුරාජ් තවම අපිත් එක්ක ඉන්නේ! ලාංකික කමක් ගැන කවුරුත් නොදන්න නිසා හදිස්සියේ අතුරුදහන් වෙලා නෑ!”
පොඩි නිහඬ තාවයකට පස්සේ සුරාජ් ප්රශ්නයක් ඇහුවා.
“එතකොට ඔය දෙන්නා කොහොමද ඉන්නේ? ලංකාවේ කියලා කවුරුහරි දන්නවා ඇති නේද?”
නීලා මා දිහා බැලුවේ ‘ඒ ප්රශ්නේ ඔයාට’ කියනවා වගේ.
“තවම හරියට දන්නෙ නෑ සුරාජ්… හැබැ පොඩි හෝඩුවා තියෙනවා… මා ගැන දන්න, මගෙ හොඳ යාළුවෝ එකෙක්වත් තවම හම්බවුනේ නෑ… මා ලාංකික බව දන්න එකම මිනිහයි මාව තවම හඳුනන්නේ. ඒ මයිකල් කියලා කිරිබති දූපතෙන් ආපු කෙනෙක්. වැඩේ තියෙන්නේ එයාටත් අපෙ පර්ශ්නෙමයි තියෙන්නේ - කිරිබති දූපතත් දැන් නෑ!”
“එතකොට ඔය කියපු ඇඩිලේඩ් කෙල්ල?”
“තිලකා පීරිස් මෙහෙ ඇවිත් තියෙන්නේ ඉස්කෝලේ ග්රේඩ් 11. මෙහෙ අවුරුදු දෙකක් ඉස්කෝලේ ගිහින් යුනිවසිටි ගියේ. ඉස්කෝලේ පරණ යාළුවෝ දැන් තිලකා හඳුනන්නෙ නෑ! යුනිවසිටි එකේ ප්රශ්නයක් නෑ, කවුරුත් එයාගෙ ලාංකික බව නොදන්න නිසා”
“සුරාජ් ඇරුනුකොට අපි දැනට කතා කරලා තියෙන්නේ එයාට විතරයි… අපි හිතුවේ… සුරාජ්ට පුළුවන්ද සිඩ්නි ඉන්න අනුලා බෝගොඩටයි පර්ත් ඉන්න් චාමර පඟරගම්මනටයි කතා කරන්න? අනුලා සිඩ්නි නිසා… පර්ත්… ටිකක් ගණන් වැඩි නිසා… සොරි!”
“ප්රශ්නයක් නෑ! ඔය දෙන්න දැනටම වැඩ ගොඩක් කරලා සල්ලිත් වියදම් කරලා තියෙනවා… මට පුළුවන් ඒ දෙන්නට කතා කරන්න… මං තව දෙයක් යෝජනා කරන්නද?”
“ඕන දෙයක්!”
“මං හිතුවේ ටෙලිකොන්ෆරන්ස් එකකින් ඉන්න සේරටම එක සැරේ කතා කරලා තොරතුරු ශෙයා කරගන්න… අඩුම ගණනේ සතියකට සැරයක්වත් එහෙම කරන්න…මට පුළුවන් සේරම ටෙලිෆෝන් බිල් බලාගන්න. මොකද කියන්නේ?”
අපි දෙන්නම මේ අදහසට කැමැත්ත ප්රකාශකළේ සතුටින්. අපේ වැඩවලට කැමැත්තෙන්ම සම්බන්ධ වෙලා තොරතුරු එකතුකරන්නත් වියදම දරන්නත් හැක්කේ සුරාජ් වගේ කෙනෙකුටමයි. සිසුවෙකුටවත් දුම්රිය කම්කරුවෙකුටවත් බෑ.
“මට කොන්ටැක්ට් ඩීටේල්ස් ෆැක්ස් කරලා එව්වොත් මේ සතියෙම අනික් අයට කතා කරලා එන සෙනසුරාදා පළවෙනි කොන්ෆරන්ස් එක තියන්න පුළුවන්”
“මම ඩීටේල්ස් හෙටම එවනවා… අපි දෙන්නගෙ ඊලඟ පියවර මොකක් කියලද සුරාජ් හිතන්නේ? මං එහෙම ඇහුවේ සුරාජ් මෙතන ඉන්න ජ්යේෂ්ඨයා හැටියට!”
“ලලිත් ඔය සීනියෝරිටි කතාව අදින්න බෑ, හොඳද? … හැබැයි එක දෙයක් තියෙනවා අපි සේරටම පටන්ගන්න පුළුවන්… පුළුවන් තරම් පරණ යාළුවන්ට කතා කරලා බලන එක… තේරෙනවද මං කියන දේ? සමහර පරණ යාළුවෝ දැන් නැතුව ඇති; අනික් අය අපි හඳුනන්නෙ නැතුව ඇති. ඒක පළවෙනි දේ… ඊට පස්සේ හිතලා බලමු කාලෙකට ඉස්සර මෙහාට මයිග්රන්ට්ස් හැටියට ආපු අය ගැන…”
“ඒක හොඳ අදහසක් වගේ”
“රයිට් එහෙනම්… හෙට විස්තර ෆැක්ස් කරොත් මට වැඩ පටන්ගන්න පුළුවන්!... තැන්ක්යූ නීලා, තෑන්ක්යූ ලලිත්… ගුඩ් නයිට්!”
නීලයි මමයි බොහොම සතුටුවුනා සුරාජ් එක්ක තිබුන සාකච්ඡාව ගැන. අපිට වඩා ලෝකේ ගැන දන්න මිනිහෙක් කවයට සම්බන්ධ වීම අපිට වැදගත්. සුරාජ් ලංකා කවයේ වැඩ කොටසක් භාර ගැනීම අපිට, විශේෂයෙන්ම නීලට, ලොකු සහනයක්.
අපි වහාම ‘පරණ යාළුවෝ’ සෙවීමේ වැඩකටයුතු පටන්ගත්තා.
…………………………..
“පුතා මල්ලිට කිව්වද රස්සාව ගැන?”
“නෑ අම්මා… ඒක ගැන තවම ස්ථිර වචනයක් නෑ. මං හිතුවේ හරියටම රස්සාවක් ලැබෙනතුරු කාටවත් නොකියා ඉන්න!”
මල්ලී මේකට විරුද්ධයි.
“මේ පවුලේ අපිටත් නොකියා ඉන්ට? ඒක හරි වැඩක්!”
“හා මල්ලී කී දෙනෙකුට කිව්වද මිඩ්ල් ඊස්ට් කතාව?”
“ඒ මොකද්ද?”
අම්මයි නංගියි එක සැරේම පරශ්නේ ඇහුවේ. මල්ලී හිනාවුනා.
“මට දැන් තේරෙනවා පවුලේ අයට කිසි දෙයක් නොකියන්නේ ඇයි කියලා! මේකයි වැඩේ අම්මා… සමහරවිට… විබහගේ හොඳට පාස් වුනොත්… එහෙ හොඳ රස්සාවක් ලැබුනොත්… එහෙම වුනොත් හිතල බලනවා…”
“ඇයි චුට්ටී මැද පෙරදිග?”
“සල්ලි! අවුරුදු දෙක තුනක් එහෙ වැඩකරොත් මෙහෙ අවුරුදු දහ පහලවක සල්ලි හොයන්ට පුළුවන්! එතකොට ආපහු ඇවිත් මෙහෙත් හොඳ රස්සාවක් හොයාගන්ට පුළුවන් පිටරට පළපුරුද්දත් එක්ක…”
අම්මයි නංගියි මොකුත් කිව්වෙ නැතුවට කනගාටුව මුහුණෙන් පෙනෙනවා. ලංකාවේ ආර්ථික කරදර නිසා චුට්ටිගෙ අදහසේ ලොකු වැරැද්දක් කියන්නත් බෑ.
අපි සේරටම තේරෙනවා ඉස්සරට වඩා වේගෙන් ලංකාව වෙනස්වෙන් බව.